අසංසට්ඨං ගහට්ඨේහි - අනාගාරේහි චූහයං
අනොකසාරි අප්පිච්ඡං - තමහං බ්රෑමි
බ්රාහ්මණං
සැදැහැවත් පින්වතුනි,
මිහිඳු මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ රටේ බුද්ධ ශාසනය පිහිටුවීම පිළිබඳ ඓතිහාසික සිද්ධිය සිහිපත් කරන දවසයි අද, මේ පොසොන් පෝය දවස. ශත වර්ෂ ගණනාවක් තිස්සේ නොයෙකුත් කාල විපත්ති, සමාජ විපර්යාස මධ්‍යයේ පැවතීගෙන ආ මේ බුද්ධ ශාසනයේ පරිහානි ලක්ෂණ මොනවද, ප්‍රගති ලක්ෂණ මොනවද කියන එක පවා, මේ කාලයේ බොහෝ දෙනෙකුට පැහැදිලි නැහැ. ඒ නිසා ඒ කාරණය යන්තමින්වත් තේරුම් ගන්න උපකාර වන අන්දමේ ගාථාවකුත් කථාන්තරයකුත් තමයි අද අපි තෝරාගත්තේ මේ දේශනාව සඳහා.
මේ ගාථාව තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළේ ජේතවනාරාමයේදී, “තිස්ස” කියන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධයෙනුයි. ඒ තිස්ස ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන වනාන්තරයකට ඇතුල් උනා භාවනා කරන්න සුදුසු තැනක් සොයමින්. එහෙම වඩින අතරේ, එක්තරා කඳු බෑවුමක පිහිටි ලෙනක් ලඟට එනකොට ඒ හාමුදුරුවන්ගේ සිත බොහෝම සන්සුන් උනා. සමාධි ගත උනා. ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කලා “මෙතන මේ ලෙන මට බොහොම සප්පායයි, බොහොම සුදුසුයි. සමහර විට මට මෙතන ඉදගෙන සසර දුක් කෙළවර කරගන්න පුළුවන්”, කියන ඒ අදහස ඇති කර ගත්තා. ඒ ලෙනට අරක්ගෙන සිටිය දේවතාවා මේ භික්ෂුන් වහන්සේ මෙතනට පැමිණෙනවා දැකලා ඉස්සෙල්ලා තමන්ගේ දිවැසින් බැලුවා, මේ ස්වාමීන් වහන්සේගේ ශීලය පිළිබඳව. බැලනකොට උපසම්පදා උනු දවසේ ඉදලා ඉතාම පිරිසිදු ශීලයක් රකින සංඝයා වහන්සේ නමක්. ඉතින් කල්පනා කලා, “දැන් මේ වගේ සීලවන්ත කෙනෙක් එක්ක, සංඝයා වහන්සේ කෙනෙක් එක්ක, මට එකට ඉන්න බැහැ”. මොකද ඉහළකින් ඉන්න බැහැනේ දේවතාවුන්ට, ඒක නිසා කරදර වෙනවා. දේවතාවා ඒත් සිතුවා, “සමහර විට මේ සංඝයා වහන්සේ අද රෑ විතරක් ඉදලා වඩීය” කියලා දේවතාවා ලෙන අතෑරලා ගියා.
ඊළඟට දෙවැනි දවසේ මේ තිස්ස ස්වාමීන් වහන්සේ ගමට පිඩු සිඟා වැඩියා. උන්වහන්සේ දැකලා බොහොම පැහැදුණු එක්තරා උපාසිකාවක් උන්වහන්සේට ආරාධනය කරලා, නිමන්ත්‍රණය කරලා, ගෙදර පිණ්ඩපාතේ දානේ එහෙම වළඳන්න සලස්වලා ආරාධනා කලා. “මේ වස් තුන් මාසේ ස්වාමීන් වහන්සේ මෙහෙ වැඩ ඉන්න, ඒ ලෙනේ වැඩ ඉන්න අපි උපස්ථාන කරන්නම්,” කියලා. ඒ ස්වාමීන් වහන්සේත් ඒක පිළිගත්තා. ඉතින් ආපහු ලෙනට වැඩිය. අර දේවතාවා කීප දවසක් “අද වඩීවි, හෙට වඩීවි” කියලා බලාගෙන හිටියා. පස්සේ තේරුම් ගත්තා සති දෙකක් විතර යනකොට මේ ස්වාමීන් වහන්සේ වස් වසන්න තමයි මේ ඇවිත් ඉන්නෙ කියලා. ඉතිං ඊළඟට කල්පනා කරනවා, “දැන් කොහොමද මම මේ හාමුදුරුවෝ මෙතැනින් පිටවන හැටියක් සලස්වන්නෙ” කියලා. “ශීලය පිරිසිදු නිසා ඒ ස්වාමීන් වහන්සේගේ, ඒ පිළිබඳව අමුතු චෝදනාවක් කරන්න ක්‍රමයක් නෑ. නමුත් යම්කිසි උපක්‍රමයක් තුළින් මේ ස්වාමීන් වහන්සේගේ ශීලයට කැළලක් ඇති කරන්න ඕන, අපකීර්තියක් ඇති කරන්න ඕන” කියලා හිතලා, මේ දේවතාවා අර උපාසිකාවගේ වැඩිමහල් පුත්‍රයාට ආවේශ උනා. ආවේශවෙලා ඒ ළමයාගේ හිස කරකවලා, ඇස් උලුප්පවෙන විදියට සලස්වලා, කෙළ වගුරවමින් වැටෙන ආකාරයක් ඇති කළා. උපාසිකාව හයවෙලා කෑගහනකොට දේවතාවා අර ආවේශය තුළින්ම කියනවා “මමයි මේ දරුවට ආවේශ වෙලා ඉන්නෙ. වෙන බලි බිලි ආදියක් මට ඕනෙ නෑ. ඔබේ අර ඔබ උපස්ථාන කරන සංඝයා වහන්සේගෙන් දඹුවැල් බෑ මීයක් ඉල්ලගෙන, තෙලක් හිඳලා මේ දරුවට නස්‍ය කරහම ඒක හරි යනව. මම එතකොට ඉවත් වෙනව” කියලා. මේ උපාසිකාව කීව මගේ දරුවා මැරුණත් මට ඒක කරන්න බෑ” කියලා. ඊළඟට එහෙනම් ඒක කරන්න බැරිනම් පෙරුම්කායම් කුඩු ටිකක් ඒ ස්වාමීන් වහන්සේට කියලා නාහෙට දමන්න මේ දරුවගේ” “මට ඒකත් කරන්න බෑ” කීවා. “හොඳයි ඒකත් බැරිනම් මේ ස්වාමීන් වහන්සේගේ පා සෝදපු වතුර මේ දරුවගේ හිසට ඉහින්න” ආ ඒක නම් කරන්න පුළුවන් කියලා මේ උපාසිකාව, එදා ඒ භික්ෂුන් වහන්සේ, තිස්ස ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියාම, දානෙ එහෙම පිළිගන්වලා, පා සෝදන්න සලස්වලා ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා “ස්වාමීනි, මේ වතුර ටික මේ ළමයාගේ හිසට ඉස්සට වරදක් නැද්ද?” කියලා. “හොඳයි කමක් නෑ” කිව්වා. ඉතිං, ඒ වතුර ඉහිනවත් එක්කම දේවතාව අර ආවේශය අත් හැරලා ආපහු ලෙනට ගියා. එතකොට ළමයට සනීපයි.
මේ සංඝයා වහන්සේ මොකුත් දන්නෙ නැහැ මේ විස්තරයක්. පුරුදු ආකාරයටම දානෙ වළඳලා ඉවරවෙලා, තමන්ගේ කමටහන මෙනෙහි කරමින් භාවනා යෝගීවම ඒ ලෙන ළහට වැඩම කළා. වඩිනකොටම අර ලෙන දොර ළඟ හිටපු ඒ දේවතාවා “මහ වෙදාණෙනි, මෙතෙනට ඇතුල්වෙන්න එපා,” කියලා කිව්වා ඒතකොට මේ සංඝයා වහන්සේ අහනවා, කවුද මේ කථා කරන්නේ? කියලා. “මමයි, මේ ලෙනට අරක්ගත් දේවතාව” කියලා කීවා. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ කල්පනා කලා මම ඒ වගේ වෙදකම් කරලා තියෙනවද? උපසම්පදාවුණු අවස්ථාවේ ඉදල මං ඒ විදියට ගිහියන්ට වෙදකම් කිරීමක් කරලා තියෙනවද? එහෙම කරලා නෑ. මගේ ශීලය ඉතාමත්ම පිරිසිදුයි කියලා දැකලා, ඊළඟට අහනවා දේවතාවාගෙන් මොකද, ඇයි මට මෙහෙම චෝදනා කරන්නේ? මම එහෙම එකක් කරලා තියෙනවද? ඒතකොට මේ දේවතාවා කියනවා, අතීතය ගැන මොකක්ද කියන්නේ. අදම මේ විදියේ දෙයක් කලා නේද? අහවල් අර උපාසිකාවගේ දරුවගේ හිසට වතුර ඉස්සා නේද? ඔන්න එතකොට මේ ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා මේ දේවතාවා අස්ථාන චෝදනාවක් කරන්නේ කියලා. ඊළඟට ඒ එක්කම හිතුවා දේවතාවාට මගේ ශීලයේ අඩුපාඩුවක් සොයා ගන්න බැරි නිසා මේ වැරදි චෝදනාවක් කරනවා, කියලා ඊළඟට තමන්ගේ ශීලය ආවර්ජනා කලා. ආවර්ජනා කිරීම තුළින් ඇතිවෙච්ච ප්‍රීතිය, ප්‍රමෝදය කොයිතරමිද කියතොත්, ඒක මැඩපත්වාගෙන, සමාධිය ඇතිකරගෙන එතන කියවෙන හැටියට ආයෙත් අඩියක් ඉදිරියට තියන්නත් කලින්, එතනම උතුම්ම අර්හත් ඵලය ලබාගත්තා ඒක තුළින් ඒ සමාධිමත් වෙලා. ඒතකොට රහත් වෙලා ඉවර වෙලා අර දේවතාවාට කියනවා, මා වැනි පිරිසිදු භික්ෂුවකට චෝදනා කල ඔබට මෙතන ඉන්න සුදුසු නැහැ කියලා. කීවහම දේවතාවා ඉවත් උනා.
ඊළඟට ඒ වස් තුන් මාසේ මේ ස්වාමීන් වහන්සේ එතන වැඩ විසුවා. ඒ ලෙනේ වාසය කරලා, වස් කාලයෙන් පස්සේ බුදු පියාණන් වහන්සේ දැකීමට වැඩියා. ඒ අවස්ථාවේදී අනෙක් සංඝයා වහන්සේලා මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා “කොහොමද ඇවැත්නි තමන්ගේ පැවිදි පරමාර්ථය ඉෂ්ට කර ගත්තද?” ඒ කියන්නෙ රහත් උනාද කියන එක. ඒක කෙලින් කීවේ නැහැ. ඒ වෙනුවට මේ ස්වාමීන් වහන්සේ අර සිද්ධවෙච්ච සම්පූර්ණ ප්‍රවෘත්තිය ප්‍රකාශ කළා. ඊළඟට ඒ සංඝයා වහන්සේලා අහනවා, දේවතාවා අර අස්ථාන චෝදනාව කරහම ඔබ වහන්සේට තරහ ගියේ නැද්ද? ද්වේෂයක් ඇති උනේ නැද්ද? කියලා. මට එහෙම අමුත්තක් ඇති උනේ නෑ කිව්වා. ඒ තුළින් ඒ කියන්නෙ රහත් උන බවයි කියන හැඟීමක් අරගෙන අර සංඝයා වහන්සේලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට කිවුවා මෙන්න මේ අහවල් භික්ෂුව, මෙන්න මේ විදියේ දෙයක් කියනවා. රහත් උනා කියලයි කියන්නේ. ඒතකොට බුදු පියාණන් වහන්සේ ඒක අනුමත කරන ආකාරයට කිව්වා මගේ පුත්‍රයාගේ ශීලය මේ විදියයි, බොහොම පිරිසිදුයි. මගේ පුත්‍රයා මෙන්න මේ වගේ කෙනෙක්, කියලා ඒ අදහස දක්වීමින් තමයි අපි අර මාතෘකා කළ ගාථාව වදාළේ.
“අසංසට්ඨං ගහට්ඨේහි - අනාගාරේහි චූහයං”
ගිහියන් සහ පැවිද්දන් කියන ඒ දෙපක්ෂය සමහම ඇලීගැලී විසීමක් නැත්තාවූ,
“අනොකසාරි අප්පිච්ඡං - තමහං බ්රූමි බ්රාහ්මණං”
අනගාරිකව හැසිරෙන්නාවූ, අල්පේච්ඡවූ ඒ භික්ෂුවට මම නියම බ්‍රාහ්මණයෙකැයි කියමි.
මේ බ්‍රාහ්මණයා කියලා මේ ශාසනයේ යොදන්නේ, උතුම් බ්‍රාහ්මණයා කියලා, රහතන් වහන්සේටයි. එහෙම රහතන් වහන්සේ කෙනෙක් කියලා බුදු රජාණන් වහන්සේ ප්‍රශංසා මුඛයෙන් ඒ විදියට වදාළා. ඔන්න ඕකයි කථාන්තරය. දැන් ඉතිං අපි බලමු මේකෙ අර ශාසනය ගැන අපි කියාපු කාරණා වලට අදාළ යමක් තිබේද කියලා මේ ගාථාවත් කථාන්තරයත් තුළින්.
පළමුවෙන්ම කථාන්තරය ගැන කියනකොට අපට ඉතාමත්ම හොඳ ආදර්ශයක්, ගිහියන් පැත්තෙන් හොඳ ආදර්ශයක්, ලැබෙනවා අන්න අර උපාසිකාවගේ ක්‍රියා පටිපාටියෙන්. සංඝයා වහන්සේලාගේ විනය නීති පිළිබඳව, ගුණ ධර්ම පිළිබඳව, යම්කිසි අවබෝධයක් ඇති උපාසිකාවක් නිසා තමයි, අර තමාගේ දරුවගේ ජීවිතේ ගියත් සංඝයා වහන්සේලාට අකැපවූ මිථ්‍යා ආජීවයක් හැටියට සැළකෙන වෙදකමක් ඒ සංඝයා වහන්සේ ලවා කරවන්න පෙළඹුනේ නැත්තේ. ඒ තුළින් අපට පේනවා ඒ කාලයේ ගිහි පින්වතුන්ට සංඝයා වහන්සේලාට කැප අකැප දේ පිළිබඳව අවබෝධයක් තිබුන බව. ඒ වගේම උන් වහන්සේලාගේ ශීලාදී ගුණධර්ම සංඝයා වහන්සේලාගේ ශීලාදී ගුණධර්ම රැක ගැනීමට රුකුල් දෙන ස්වභාවයක් තිබුනා ඒ සමාජයේ. ඇත්ත වශයෙන්ම සංඝයාවහන්සේලාගේ ශීලාදී ගුණධර්ම ගැන මේ කාලයේ බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඒක නිසා වෙන නොයෙකුත් සිද්ධාන්ත මුල්කරගෙනයි ඒ ගිහි පැවිදි සම්බන්ධතාව ගෙන යන්නේ. සංඝයා වහන්සේලාට අයිති චතුපාරිශුද්ධි ශීලය නමින් සිවි පිරිසිදු ශීලයක් තිබෙනවා. ඒ ශීලය කොටස් හතරක ශීලයක්. කෙටියෙන් සඳහන් කරතොත්,
කියලා ඔය විදියේ හතරක් තියෙනවා. ඉන් පළමුකොටම අර පාතිමොක්ඛ සංවර ශීලය කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට පණවා වදාල විනය නීති සංග්‍රහයට අනුව හික්මෙන එකයි. ඉන්ද්රිය සංවර ශීලය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මන කියන ඉන්ද්රිය දොරටු හය, ගලාගෙන එන කෙලෙස්වලින් ආරක්ෂා කර ගැනීම සඳහා, ඒ දොරටු වසා ගැනීම, සංවර කර ගැනීම පිළිබඳ ශීලයයි. ආජීව පාරිසුද්ධි ශීලය කියලා කියන්නෙ සංඝයා වහන්සේලාට අයිති පිරිසිදු ජීවිකාව, විශේෂයෙන්ම ගිහි පින්වතුන් පිළිබඳව අනියම් සම්බන්ධතාවල් පවත්වන්නෙ නැතිව, නියමාකාර ධර්මානුකුල, විනයානුකුල පැවැත්ම කර ගැනීම පිළිබඳව ඇතිවන පිරිසිදු බවයි, ආජීවය පිරිසිදු කර ගැනීම පිළිබඳ ශීලය. හතර වෙනුව කියන පච්චය සන්නිස්සිත ශීලය කියන එකේ අදහස සිවුපසය පිළිබඳව, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය කියන සිවුපසය පරිභෝග කිරීමේදී, ඒවා පාවිච්චි කිරීමේදී ඒවායේ පරමාර්ථය, නියම පරමාර්ථය සිහිපත් කරලා, ඒ කියන්නේ නිවන, නිවන සඳහා, නිවන ලබා ගැනීම සඳහායි කියලා, ගිජු බවකින් නෙවෙයි, ඒ වගේම ඒක භාවනාවට නගමින් - ධාතු කර්මස්ථාන, අසුභ කර්මස්ථාන වශයෙන් භාවනාවට නගමින් - සිවුපසය පරිභෝග කිරීම පිළිබඳ ශීලයයි.
ඔන්න ඔය සිවු පිරිසිදු ශීලය පිළිබඳ යම්කිසි අවබෝධයක් ඒ කාලයේ ගිහි පින්වතුන්ට තිබුණ නිසා වෙන්න ඇති අර ආජීවය ගැන හිතලා සංඝයා වහන්සේලා කෙරෙහි ගරුත්වයකින් යුක්තව තමන්ගේ දරුවා මිය ගියත් මම ඒ විදියේ දෙයක් සංඝයා වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නෙ නැහැ කියලා අර උපාසිකාව කිව්වේ. ඉතිං මේ කාලේ සමහර විට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද, පරාර්ථ චර්යාව, සමාජ සේවය, ආර්ථිකය - ආදී ඔය මූලධර්ම අනුවයි ගිහිපැවිදි සම්බන්ධතාව මනින්නේ. ඒකේ වටිනාකම්, සුදුසු නුසුදුසුකම්. නමුත් බුදුපියාණන් වහන්සේ දක්වලා තිබෙනවා සංඝයා වහන්සේලාගේ පරමාර්ථය නිවන නිසා, ඒ වගේම උන් වහන්සේලාගේ ජීවිතය අර ශ්‍රද්ධාවෙන් දෙන ආහාරය - ගිහියන් ශ්‍රද්ධාවෙන් දෙන ආහාරය - අනුභව කරලා ගෙන යන ජීවිතයක් නිසා, යම් පරමාර්ථයක් සඳහාද පැවිදි උනේ, ඒ පරමාර්ථයට අදාළ දේට පමණයි බුදු පියාණන් වහන්සේ අවසර දෙන්නේ. ඒ වගේම වෙද හෙදකම් කිරීම ආදිය - ගිහියන්ට වෙද හෙදකම් කිරීම ආදිය - මිථ්‍යා ආජීවයක්, වැරදි ආජීවයක්, කුල දූෂණයක්. ඒ කියන්නෙ ගිහියන්ගේ ශ්‍රද්ධාව දූෂණය කිරීමට, කිලිටි කිරීමට හේතුවන දෙයක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. මොකද, ඒ කියන්නේ පමණට වැඩිය කුලපග වීම තුළින් සංඝයා වහන්සේලාගේ පරිහානිය සැලසෙනවා. එක පැත්තකින් සංඝයා වහන්සේලා ගිහියන්ගේ ඕනෑ ඕපාකම් පිරිමසන්න ඉදිරිපත්වෙලා විනය නීති කඩමින් ඒ ගිහියන් සතුටු කරන්න, සතුටු කරලා සිවුපසය ලබන්න පෙළඹෙනවා. අනික් පැත්තෙන් ගිහි පින්වතුනුත් බලනවා තම තමන්ගේ ඕනෑ ඕපාකම් පිරිමසා ගන්න හැම එකකටම සංඝයා වහන්සේලා උපකාර කරගන්න.
දැන්, ගිහි ජීවිතය මේ පින්වතුන් දන්නවා ඉතාමත්ම සංකීර්ණ, මහා ප්‍රශ්න රාශියක් මැද ගෙවෙන ජීවිතයක්. බොහෝවිට ගිහිපින්වතුන්ට සිද්ධ වෙනවා තැනේ හැටියට ඇනේ ගහන්න. වෙන මිටියක් ආදියක් නැති වෙනකොට සංඝයා වහන්සේ ‘අතකොළුවක්’ හරි කරගන්නවා. කුළුපග ස්වාමීන් වහන්සේ අතකොළුවක් කරගෙන තමන්ගේ ඕනෑ එපාකම් පිරිමහා ගන්නවා. ඒ තුළින් වෙන්නෙ සංඝයා වහන්සේ විනයෙන්, අර කියාපු ආජීව පරිශුද්ධියෙන් පිහිරිලා, ඇතැම් විට ඒ තමන්ගේ ශීලයෙන් පිරිහෙනවා පමණක් නෙවෙයි අන්තිමට සිවුරෙන් පවා ඉවත් වෙනවා. ඒ විදිහේ ලොකු පරිහානි තත්ත්වයකට පත්වෙනවා සංඝයා වහන්සේලා. පරිහානියකට වැටෙනවා. ඒ එක්කම ගිහි පින්වතුන්ගෙත් සංඝයා වහන්සේලා පිළිබඳව තිබුණ ගෞරවය නැති වෙනවා. මේ පින්වතුන් අහලා තියෙනවා ඔය රටේ කියන කථාවක්, පරණ කථාවක්, ‘දෙවේලේ දකින කුකුළගේ කරමලෙත් සුදුයි’ කියල. අන්න ඒ වගේ අර සංඝයා වහන්සේලා යටත් පිරිසෙයින් ඇදගෙන ඉන්න සිවුරේ පාටත් අමතක වෙනවා. සංඝයා වහන්සේ සුදු ඇඳුමක් ඇදගෙන ඉන්න කෙනෙක් කියන තත්ත්වයට වැටෙනවා. අර කුකුළා පිළිබඳ උපමාව හරියටම ගැලපෙනවා මෙතෙන්ට. සංඝයා වහන්සේ සිවුරක් ඇඳගෙන ඉන්න බවත් අමතක වෙනවා. තමන්ගෙම කෙනෙක් හැටියට සළකලා ඒ සියලුම මඟුල් තුලා ආදී හැම කටයුත්තකටම සංඝයා වහන්සේලා උපකාර කරගෙන ඒ විදියට ජීවිකාව ගෙන යන්න බලනවා. ඒක සමාජ සේවය, පරාර්ථචර්යා ආදී, ඒ පැත්තෙන් බලනකොට හොඳ දෙයක් හැටියට පෙනෙතත් සංඝයා වහන්සේලාගේ පැවිදි වුණු පරමාර්ථයට එකඟ නැති නිසයි බුදු පියාණන් වහන්සේ ඒවා මිථ්‍යා ආජීව හැටියට දක්වා වදාළේ. ඉතිං ඔය විදියේ තත්ත්වයක් තිබෙනවා.
ඒ එක්කම දැන් මේ කථාන්තරයෙන් තවත් වැදගත් කාරණයක් අපට හෙළිවෙනවා, අර දේවතාවා කළ අස්ථාන චෝදනාව තුළින්. ඒ අස්ථාන චෝදනාව අහල අර සංඝයා වහන්සේ කිපුනේ නෑ. ඒ වෙනුවට කළේ මොකක්ද, තමන්ගේ ශීලය ආවර්ජනා කලා. ඒ ආවර්ජනා කිරීම තුළින් කොයිතරම් ක්ෂණික ප්‍රතිඵලයක් ලැබුණාද කියතොත් - මොකද කමටහන මෙනෙහි කරමින්ම එදා ඒ ලෙන ළඟට පැමිණියේ - දැන් ධර්මයේ දක්වෙනවා, මේ ශීල ආවර්ජනා කිරීම ඉතාම ප්‍රබල දෙයක්. ශීලය ආවර්ජනා කිරීම තුළින් ඇතිවන ප්‍රමෝදය. ලොකු සතුටක් ඇතිවෙනවා. ඒ ප්‍රමෝදය, වෙන අයට කෑ ගහ ගහ කියන්නෙ නැතුව, ඒක සන්සිඳුවාගෙන ප්‍රීතියක් බවට පත්කරගෙන, ඒ ප්‍රීතිය තුළින් සිතත් කයත් සන්සුන් කරගන්නවා. ඒ සන්සුන්කමින් සමාධියක් ඇතිවෙනවා. ඔන්න ඔය විදියයි සිතේ ක්‍රියාකාරීත්වය. ඒක ක්ෂණිකව අත්දුටුවා මේ ස්වාමීන් වහන්සේ ඉතාමත්ම හොඳ, ශීල සම්පන්න විවේකයට ලැදි ස්වාමීන් වහන්සේ නමක් නිසා. ඒ එක්කම ඒ තුළින් අර අතීත පුණ්‍ය ශක්තියත් මතුකරගෙන ක්ෂණිකවම අර්හත්ඵලය ලබා ගත්තා. ඔයින් පේනවා එතකොට අන්න අර ආජීව පාරිශුද්ධි ශීලය හරියට රැක්ක එකේ ආනිසංසය එතනම ඒ සංඝයා වහන්සේ ප්රත්යක්ෂ කරගත්තා, තිස්ස ස්වාමීන් වහන්සේ. ඒක විශාල ආදර්ශයක් ඒ සංඝයා වහන්සේලාගේ පැත්තෙන් හිතනකොට.
ඉතිං ඊළඟට අපි මේ ගිහි පැවිදි සම්බන්ධතාව ගැන කල්පනා කරලා බලනකොට අද වගේ දවසක, අර බුද්ධ ශාසනය පිහිටු වීම සඳහා ඒද මිහින්තලයට වැඩි පිරිස ගැන ටිකක් හිත යොමුකරලා බලමු. මිහිඳු මහා රහතන් වහන්සේත්, ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල කියලා කියන උපසම්පන්න රහත් භික්ෂුන් වහන්සේලා හතර නමකුත්, සුමන කියන රහත් සාමණේරයන් වහන්සේ නමකුත්, භණ්ඩුක කියන අනාගාමී අභිඥාලාභී උපාසක තුමකුත් ඒ පිරිසට ඇතුළත් උනු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ පිරිස සකස් වෙච්ච ආකාරය ගැන හිතනකොට අපට තේරුම් ගන්න පුළුවන්, මේ ධර්ම දූත පිරිස එවලා තියෙන්නේ නියම ආකාරයෙන්ම අලුත් රටකට, අලුත් ජනතාවකට, ගිහි පැවිදි සම්බන්ධතාව තේරුම් කිරීමට සුදුසු අන්දමින්. මොකද, අර එක පැත්තකින් බලනකොට උපසම්පන්න භික්ෂුන් වහන්සේලා පස් දෙනා තමයි අවම වශයෙන් උපසම්පදාව දීමේ ඒ ගරු විනය කර්මයට අවශ්‍ය වෙන්නේ. එතකොට අවම වශයෙන් පස් නමක් එතන ඉන්නවා උපසම්පන්න භික්ෂුන් වහන්සේලා. අර සාමණේරයන් වහන්සේත්, උපාසකතුමාත් කළේ මොකක්ද, මේ අළුත් ජනතාවට ගිහි පැවිදි සම්බන්ධතාව පිළිබඳ ඒ මූලධර්ම තේරුම් කලා. තේරුම් කරලා දෙන්න ඇති. සංඝයා වහන්සේලා කියන්නේ මෙන්න මේ දේවල් කැප හැටියට, මේ දේවල් අකැප හැටියට සළකන අයයි. ඒ විදියට යම් කිසි සම්බන්ධීකරණයක් කිරීමට දැනුවත් කිරීමට උපකාර වන අන්දමටයි මේ පිරිස සකස් උනේ කියලා අපට හිතාගන්න පුළුවන්. ඉතිං ඒකත් ගැඹුරු අදහසකින්. වෙන රහතන් වහන්සේලා, වෙන භික්ෂුන් වහන්සේලා නැතුවට නොවේ. අර උපාසක තුමෙකුත් අරගෙන ආවේ මේ ශාසනයේ අර ක්රමික පරිවර්තනය ගිහියාගේ ඉඳලා පැවිද්දා දක්වා යන ආකාරයට, ඒ වගේම ගිහිපැවිදි සම්බන්ධතාව පිළිබඳ මූලධර්ම අළුත් ජනතාවකට තේරුම් කරන්න පුළුවන් ආකාරයකටයි ඒ පිරිස සකස් උනේ.
එහෙම නමුත් කල්යාමේදී අර අපි කලින් සඳහන් කළ ආකාරයට නොයෙකුත් විදියේ කාල විපත්ති, සමාජ විපර්යාස මධ්‍යයේ මේ ශාසනය යන අතරේ, මේ උතුම් පරමාර්ථ, නෙක්ඛම්ම අදහස, පැවිද්දේ පරමාර්ථ, ඒවා අමතක වෙන්න පටන් ගත්තා, සංඝයා වහන්සේලාතත්, ගිහියන්ටත් - ගිහිපිරිසටත්. ඒක තුළින් අන්තිමට උනේ මොකද, ගැඹුරු නෙක්ඛම්ම අදහසකින් සිද්ධ විය යුතු පැවිද්ද අන්තිමට නිකම්ම පැවිද්දක්, එහෙමත් නැත්නම් නිකම්ම නිකම් පැවිද්දක් බවට පත් උනා. ඒ කියන්නේ දැන් පැවිදි කිරීම කියලා කියනකොට එක ගැඹුරු අදහසකින් සිද්ධ විය යුතු දෙයක්. බාහිර වශයෙන් - බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා - සිවුරු පෙරවීම පමණකින්, හිස මුඩු කිරීම පමණකින්, කෙනෙක් පැවිද්දෙක් වෙන්නෙ නෑ කියලා. කය පැවිදි කිරීම පහසු නමුත් හිත පැවිදි කිරීම අපහසු බවත් බොහෝ දෙනා පිළිගන්නවා. එතකොට කය පැවිදි කිරීම සුළු වේලාවකින් කළ හැකි නමුත්, සිත පැවිදි කරන්න සැහෙන කාලයක් ඕන වෙනවා. පාරමී ශක්තිය දියුණු කරගත්තු, කලාතුරකින් කෙනෙක් ක්ෂණිකවම ඇතැම් විට ගිහි ඇඳුමින් පවා රහත් වුණු අවස්ථාවල් තිබෙනවා. නමුත් ඒ අනුව සාධාරණීකරණයෙන් හිතන්න නරකයි. මේ ශාසනයේ මේ ප්‍රතිපදාව ඉතාමත්ම දුෂ්කර දෙයක්. දැන් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා ‘දුල්ලභා පබ්බජ්ජා’ පැවිද්ද දුර්ලභ දෙයක්. ඒ වගේම දුෂ්කර දෙයක්. නියම පැවිද්ද දුර්ලභ දෙයක්, දුෂ්කර දෙයක්. නමුත් අර විදියට දැන් ක්‍රම ක්‍රමයෙන් මේ සමාජ පරිවර්තන විපර්යාස ගැන හිතලා බලනකොට පැවිද්ද බොහොම සුලහ දෙයක්, බොහොම පහසු දෙයක්. ඒ තත්ත්වයටයි වැටෙන්නේ. එතකොට මේ පැවිද්ද පහසු කර ගැනීමේ ක්‍රම නොයෙකුත් නොයෙකුත් විදියට ගිහිල්ලා අන්තිමට මේ පැවිදි කිරීම විලාසිතාවක් බවට පත්වෙනවා. මේ කාලයේ හැම දෙයක්ම විලාසිතාවක් වෙනවා. ඉතිං ඒ විලාසිතාවේ අවසාන කෙළවර සමහර විට මේ පින්වතුන්ට නුදුරු අනාගතයේ දකින්න ලැබේවි. දැන් මේ පින්වතුන් සිල් සමාදන් වෙලා සිල් පවාරණය වෙන්න වගේ, උදේ පාන්දරට ‘සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය’ කියලා පැවිදි වෙලා, හවසට සිවුර ඉවත් කිරීමේ ‘ඇඳුම් මාරුකිරීමක්’ බවට පැවිද්ද පරිවර්තනය වෙන්න ඉඩ තියෙනවා. ඕන්න ඔය විදියේ තත්ත්වයක් තිබෙනවා.
නමුත් බුදු පියාණන් වහන්සේ පුදුම විදියේ ප්රතිපත්තිමාලාවකින් පෙන්නුම් කරලා තියෙනවා මේ පැවිදි වීමේදී බාහිර වශයෙන් කරන වෙනස්කම්, සිවුරක් පෙරවීම්, හිස මුඩු කිරීම ආදිය, ඒවායේ ගැඹුරු අර්ථය සළකමින් ක්‍රම ක්‍රමයෙන් ගැඹුරට ගෙනහිල්ලා රහත් වීමට පවා ඒවා උපකාර කරගන්නා ආකාරය, එක්තරා වටින සූත්‍රයකින් - දස ධර්ම සූත්‍රය කියලා. මෙන්න මේ දස ධර්ම සූත්‍රය විශේෂයෙන්ම සංඝයා වහන්සේලා සඳහා දේශනා කළ දෙයක් නමුත් ඒ දස ධර්ම සූත්‍රයට අඩංගු කාරණා දහය ගැන මේ පින්වතුන් තේරුම් ගැනීම හරි ආකාර ගිහි පැවිදි සම්බන්ධතාවක් ඇති කර ගැනීමට උපකාර වෙනවා. අපි අර කලින් කියාපු ශාසන පරිහානිය සම්පූර්ණයෙන් නතර කරන්න බැරි වෙතත් යටත් පරිසෙයින් ඒ පරිහානි වේගය තරමක් දූරට හරි මර්දනය කර ගන්න උපකාර වෙනවා ගිහි පින්වතුන්වත් මේ ගැන දැනුවත් උනොත්. ඒක නිසයි අපි මේ අවස්ථාවේ අර දස ධර්ම සූත්‍රයේ සඳහන් වෙන කාරණා දහය කාලවේලා හැටියට කෙටියෙන් නමුත් තේරුම් කරන්න උත්සාහ කරන්නේ.
ඒ දස ධර්ම සූත්‍රයේ මෙන්න මේ විදියටයි සඳහන් වෙන්නේ. ’මහණෙනි, කාරණා දහයක් තියෙනවා පැවිද්දන් විසින් නිරන්තරයෙන්, නිතිපතා ප්රත්යවේක්ෂා කළයුතු. ප්රත්යවේක්ෂා කරනවා කියන එක, ඒකේ අදහස, නුවණින් සලකා බැලීම. එහෙම නැත්නම් ආපස්සට හැරිලා ඒක සලකා බැලීම. යමක් හොඳද? නරකද? හරියට කෙරුනද? නැද්ද? කියන එක සළකා බැලීමයි. මේ ප්රත්යවේක්ෂා කියන වචනය එක්තරා අවස්ථාවකදී බුදු පියාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට හොඳ උපමාවකින් තේරුම් කරලා දුන්නා පොඩි දරුවකුට තෝරන්නා වගේම. දැන් යම්කිසි කන්නාඩියක් දිහා බලන්නෙ කෙනෙක් ගමනක් බිමනක් යනකොට, තමන්ගේ හිසකෙස්, මුණ, ඇඳුම් පැළඳුම් පිළිබඳ යම්කිසි හැඩගස්වා ගැනීමක් කර ගැනීමටයි. මේකෙ අඩුපාඩු මොනවද කියලා බලලා ඒක හැඩ ගස්වා ගැනීමටයි කන්නාඩියක් දිහා බලන්නෙ. අන්න ඒ කන්නාඩිය දිහා බැලීමටත් ප්රත්යවේක්ෂා කියන වචනය යොදනවා. කන්නාඩියක් ගෙදරක පාවිච්චි කරන්නේ ප්රත්යවේක්ෂා කිරීම සඳහා. ඒ කියන්නේ ආපස්සට හැරිලා බලනවා. යන්න ඔක්කොම ලෑස්තියි. නමුත් ආපස්සට හැරිලා බලනවා. මගේ ඒ සකස් වීම ඇඳුම් පැළඳුම් හරියට තියෙනවද කියල. අන්න ඒ වගේ අදහසක් මෙතනත් තියෙන්නේ. ප්රත්යවේක්ෂා කරන්න කාරණා දහයක් තියෙනවා. කන්නාඩි දහයක් වගෙයි මේක බැලුවාම. මොනවද ඒ එක එකක්? අපි ඊළඟට තේරුම් කරන්න බලමු.
පළමුවෙනි එක, සංඝයා වහන්සේලා නිතිපතා ප්රත්යවේක්ෂා කරන්න ඕන මෙන්න මේක. ‘විවර්ණ භාවයකට පැමිණියේ වෙමි.’ විවර්ණ භාවයකට පැමිණියේ වෙමි. කෙටියෙන් කිව්ව නමුත් ඒකෙන්, තේරුම් කලොත් මෙන්න මෙහෙමයි ගන්න වෙන්නේ. දැන් පළමුවෙන්ම අපි හිතමු ගිහි පින්වතා පිළිබඳව. ගිහියාගේ ස්වභාවය විවර්ණභාවය නෙවෙයි වෛවර්ණ භාවයයි. විවර්ණ දේට කැමති නැහැ. වර්ණවත්, වෛවර්ණවත් දේවල් වලටයි ගිහි පින්වතා කැමති. නමුත් සංඝයා වහන්සේලාට බුදු පියාණන් වහන්සේ වදාරන්නේ විවර්ණ භාවයට පැමිණෙන්නෙ කියලා. කොහොමද විවර්‍ණභාවයට පැමිණෙන්නේ? ඒක දෙයාකාරයකට විග්රහ කරලා තියෙනවා. ‘කාය වෙවණීයං, පරික්කාර වෙවණීයං’ කියලා කය පිළිබඳව විවර්ණ භාවයත් පිරිකර - අවශ්‍ය පරිහරණය කරන භාණ්ඩ - පිළිබඳ විවරණ භාවයත් තේරුම් කරන්නේ මෙහෙමයි. දැන් ගිහි පින්වතුන් මේ කෙස් රැවුල් පිළිබඳව කොයිතරම් විලාසිතාවක් කලින් කල කරනවද කියලා මේ සමාජයේ ඉන්න පින්වතුන් දන්නවා. ඒවාට දෙන දසවදේ. කලින් කල මේක වෙනස් උනු ආකාරය දැක්ක හැටියේ තරුණ පක්ෂය, තරුණ, තරුණියන් ඒ අනුව, අලුත් විලාසිතාව අනුව, මොන වියදමක් කරලා හරි ඒ පැත්තට නැඹුරු වෙනවා. ඕන්න ඒක කරනවා. ඒක කරන්න වෙහෙසෙනවා. නමුත් පැවිද්දන්ට ඒ ප්‍රශ්නයක් නැහැ. මොකද, පැවිදීවීමේදීම කෙස් රැවුල් ඉවත් කරනවා. අන්න විවර්ණභාවය. එතකොට කය පිළිබඳ විවර්ණභාවය ඒ විදියට හිතාගන්න ඕන. පිරිකර පිළිබඳ විවර්ණභාවය තමයි, ගිහි පින්වතුන්ට නොයෙකුත් විදියේ වෛවර්ණ ඇඳුම්. දැන් මේ පින්වතුන් උනත් මේ අවස්ථාවේ සුදු ඇඳුමින් පෙනී හිටියත්, ඔය පාරට තොටට බැහැලා යනකොට අඳුනගන්නත් බැරි විදියේ වෛවර්ණ ඇඳුම් ඇඳගෙන යන්න පුළුවන්. ඒකයි ගිහි පින්වතාගේ සාමාන්‍ය ස්වභාවය. නමුත් සංඝයා වහන්සේලා පිළිබඳව බුදු පියාණන් වහන්සේ වදාරල තියෙන්නේ, කඩ කපපු දූර්වර්ණ පඬු ගැසූ සිවුරක් ඇඳගන්න. පාත්‍රයක් පාවිච්චි කරන්න. කළු කරපු පාත්‍රයක්. ඒ වගේම අනෙක් පරිෂ්කාර ආදියත් අල්පේච්ඡතාව පෙන්නුම් කරන දේවල්. සුඛෝපභෝගී භාණ්ඩ නෙවෙයි පාවිච්චි කරන්න තියෙන්නේ. අල්පේච්ඡතාවට ගැලපෙන දේ. ගිහි පින්වතුන්, කාමභෝගී ගිහියන්, පාවිච්චි කරන දේවල් කියලා බුදු පියාණන් වහන්සේ සමහර සංඝයා වහන්සේලාට අකැප දෙයක් පාවිච්චි කරනකොට ඒක කඩලා බිඳලා විසි කරන්නැයි කියලත් කියපු අවස්ථාවල් තියෙනවා. එයින් පෙන්නුම් කරනවා එතකොට විවර්ණභාවය. ඔන්න ඒක සංඝයා වහන්සේලා විසින් නිතර සිහිපත් කළයුතු දෙයක්. ගිහියාට වගේ වෛවර්ණභාවය නොවෙයි. විවර්ණ භාවයයි අපට අයිති. පළමුවෙනි එක.
ඊළඟ ඒකේ අදහස සිංහලෙන් කිව්වොත් ‘මාගේ ජීවිකාව අනුන් හා සම්බන්ධව ගෙනයන එකකි.’ ‘පරපටිබද්ධ’ කියන වචනයක් එතන සඳහන් වෙනවා. ඒ කියන්නේ අනුන් හා පිළිබඳ, අනුන් එක්ක සම්බන්ධ කරගෙනයි මේ මගේ ජීවිකාව ගෙනයන්නේ. මගේම මුදලින්, මගේම වතුපිටිවලින්, මගේ බැංකු ගිණුමින්, ජීවත් වෙනවා නොවෙයි. ගිහි පින්වතුන් ශ්‍රද්ධාවෙන්, කැමති නම් ශ්‍රද්ධාවෙන්, පූජා කරන, ගෙන් ගෙට පිණ්ඩපාතේ ගිහිල්ල ලබාගන්න, ඒ ආහාරයෙන් යැපෙන්නේ. ගිහිපින්වතුන් පූජාකරන චීවර ආදී අනෙක් ප්රත්යයන්ගෙන්. ගිහි පින්වතුන් හදලා දුන්න කුටියක වාසය කරන්නේ. අන්න ඒ කාරණය නිතර සිහිපත් කරන්න. මොකටද එහෙම සිහිපත් කරන්නේ? ඒ සිහිපත් කිරීම තුළින් පැවිදි පරමාර්ථය ඉබේටම සිහිපත් වෙනවා. ඇයි? මම මේ තරම් කෝටිපතියෙක්. ඇයි මම මේ ඔක්කොම අතහැරියේ? මේ හිඟන තත්ත්වයට පත් උනේ? ඇත්ත වශයෙන්ම භික්ෂුව කියන එකේ මූලික අර්ථය භික්ෂාවෙන් යැපෙන - හිඟන්නෙක් වගේ බැලුවාම. වචනය වශයෙන් බලනකොට හිඟන්නා වගේ - වෙනස තියෙන්නේ හිඟන්නන් වගේ එහෙම කරදර කරන්නෙ නෑ. ඇවිල්ලා ගෙයක් ඉදිරියේ හිටගෙන ඉන්නවා ටික වේලාවක්. ලැබුනත් එහෙමයි. නොලැබුනත් එහෙමයි. ඒ වගේම හිඟන්නකුට දෙන අර්ථයෙන් නෙවෙයි, මේ පින්වතුන් ශ්‍රද්ධාවෙන් මේ නිවන මග යන තමන්ටත් පින් සඳහා, පින් කෙතක් කියලා හිතලයි සංඝයා වහන්සේලාට පූජා කරන්නේ. එතකොට අන්න ඒ පැවිදි පරමාර්ථය සිහිපත් වෙනවා ඒයින්. බුදු පියාණන් වහන්සේ නිතරම මතක් කරලා දෙන්නේ වැරද්ද කළ භික්ෂුවකට, “ඇයි මහණ, නුඹ මේ ගිහි පින්වතුන් ශ්‍රද්ධාවෙන් දෙන ආහාරයෙන් නේද යැපෙන්නේ?” ඒ තුළින් අපට පේනවා අන්න නියම ගිහි පැවිදි සම්බන්ධතාව. එතන තියෙන්නේ, ඒ ගනුදෙනුව තුළ තියෙන්නේ, ඒ ගුණධර්ම පිරීමයි. නමුත් මේ කාලේ ඇතැම් කෙනෙක් ඔය ‘පරපටිබද්ධ’ කියන වචනය පවා පුදුම අන්දමට විකෘත කරලා තෝරමින්, පැවිද්දට අයිති ගිහි පින්වතුන්ට ඒ අර ගිහි ආකාරයෙන් ගනුදෙනුව සම්පූර්ණ කිරීමයි කියලත් තෝරනවා සමහර කෙනෙක. ඒක නෙවෙයි, තමන් ඇත්ත වශයෙන් ඒ ණය ගෙවන්න නම් තමන් අර්‍හත්ත්‍වය ලබා ගන්න ඕන, දැන් අර තිස්ස ස්වාමීන් වහන්සේ කලා වගේ. ඒකෙන් තමයි ඒ මහත්ඵල මහානිසංස වන්නෙ. ඒ රහත්වීම හා එක්කම අර උපාසිකාවට කොයිතරම් විශාල පිනක් අත්වන්ද? එහෙම නැතුව අර වෙදකමට අල්ල ගත්තා නම් අර හාමුදුරුවෝ, අර දෙන දානයෙන් වැඩක් නැහැ. ඕන්න ඔය විදියේ තත්ත්වයක් තියෙන්නෙ. ඕක තේරුම් ගන්න, ඕක මතක් කරගන්න, තමයි සංඝයා වහන්සේලාට බුදු පියාණන් වහන්සේ විදාරලා තියෙන්නෙ ‘පරපටිබද්ධා මේ ජීවිකා - ’මගේ ජීවිකාව අනුන් හා සම්බන්ධ වූ එකක්’ කියලා. ඕන්න එතකොට ඒ දෙවැනි එක.
ඊළඟට තුන්වැනි එක. ‘මා විසින් අන්‍යවූ ආකල්පයක් කළ යුත්තේය.’ ඒක තේරුම් කරන්න වෙනවා. සාමාන්‍ය තේරෙන භාෂාවෙන් කීවොත්, ගිහියාට වඩා වෙනස් ආකාරයකින් මා ඉරියව් පැවැත්විය යුතුය. ගිහියාට වඩා වෙනස් ආකාරයකින් මගේ හැසිරීම තිබිය යුතුය. ඒයින් කියවෙන්නේ මොකකද? දැන් ආකල්පය කියලා එතන යොදලා තියෙන්නේ විශේෂයෙන්ම යාම් ඊම් සිටීම් ඉඳීම් ආදි, ඒ ඉරියව් පැවැත්වීමේ ක්‍රමයයි. ඉරියව් පැවැත්වීම පිළිබඳව සංඝයා වහන්සේලා ඒ ඉරියව් පවත්වන ක්‍රමයත් ගිහියන් ඉරියව් පවත්වන ක්‍රමයත් අතර වෙනසක් තිබෙනවා. සංඝයා වහන්සේලාට අයිති සන්සුන්ව ඒ යාම ඊම ආදී කටයුතු කිරීමයි. කොටින්ම කියතොත් බුදු පියාණන් වහන්සේගේ විනය නීතිවල අවසානයේ කියනවා ‘මහණෙනි, නුඹලා හැසිරෙන්නට ඕන, අප්පසන්නානංච පසාදාය, පසන්නානංච භියෝභාවාය, නොපැහැදුණු අයගේ පැහැදීම සඳහා පැහැදුණු අයගේ වඩ වඩාත් පැහැදීම සඳහා.’ ඒ පරමාර්ථත් අනුවයි බුදු පියාණන් වහන්සේ යම් යම් විනය නීති, විනය ශික්ෂාපද පණවා වදාළේ. විශේෂයෙන්ම ‘සේඛියා’ කියලා ශික්ෂාපද රාශියක් තියෙනවා, සංඝයා වහන්සේලා ගමේ හැසිරෙන ආකාරය පිළිබඳව. මේ ආකාරයට හැසිරිය යුතුයි. මේ මේ විදියට සිවුරු ආදී පෙරවිය යුතුයි. මේ විදියට සන්සුන්ව යා යුතුයි. මේ විදියට වැළඳිය යුතුයි. ඔය හැම එකකින්ම පෙන්වන්නෙ අර ඒක දකින ගිහියාගේ සිත පහන් වීම, ප්‍රසාදයට පත්වීමට හේතුවක් වන බවයි. ඒ නිසයි වෙනස් ආකල්පයක් සංඝයා වහන්සේලාට තිබෙන්නෙ. ගිහියන් කරන දේවල් කරකර හිටියොත් කවදාවත් බෑ ඒ කියාපු සන්සුත් බවක්, සංවර බවක්, ඇති කර ගන්න.
ඉතිං මේකේ වටිනාකම, ඇතුම් කෙනෙක් හිතන්න පුළුවන් මේ තියන නවීන ලෝකෙ ඕවා කිරීමෙන් මොකක්ද ඇති වැඩේ. නවීන කෙසේ වෙතත් අපි ඉතිහාසෙට හිත යොදලා බැලුවොත් මේ ආකල්ප සම්පත්තියේ වටිනාකමට හොඳම නිදර්ශන ඉතිහාසයෙන් ලැබෙනවා වණ්ඩාශෝක කියන එක්තරා මහා දාමරික රජකෙනෙක් ධර්මාශෝක උනේ කොහොමද කියලා හිතලා බලනකොට. ඒක ඉතිහාසගත කථාන්තරයක්. නිග්‍රෝධ සාමණේර නමින් හැඳින්වෙන හත් හැවිරිදි කුඩා රහතන් වහන්සේ නමක් වණ්ඩාශෝක රජුගේ රජ මාලිගාවේ මීදුලින් ගමන් කරන සන්සුන් ආකාරය දැකලා පැහැදිලයි, වණ්ඩාශෝක රජතුමා ආරාධනා කරලා, ඒ නීග්‍රෝධ සාමණේරයන් වහන්සේගෙන් බණ අහලා පැහැදිලා ධර්මශෝක කෙනෙක් වුනෙ. ඒයින් පේනවා අන්න අර ආකල්ප සම්පත්තියේ වැදගත්කම. ඉතිං ඒ වගේම අපි දන්නවා දැන් බුද්ධ දේශනාවට අනුව ඒ ආකල්ප සම්පත්තිය මෙන්න මේ විදියේ ලස්සන උපමාවකින් දක්වලා තිබෙනවා. බුද්ධ දේශනාවට අනුව අතීත සංඝයා වහන්සේලා ප්‍රකාශ කළ උපමාවක් තිබෙනවා.
සංඝයා වහන්සේලාගේ ඉරියව් පැවැත්ම පිළිබඳ ලස්සන උපමාවක් දීලා තියනවා සිනිඳු තෙල් ධාරාවක් වගේ. ඔය ගිතෙල්, එහෙම නැත්නම් පොල්තෙල්, බෝතලයකින් වත්කරන්න බලන්න. වතුර වක්කරනවා වගේ “ගොඩොස්” ගාලා වැක්කෙරෙන්නේ නැහැ නේ. මහ පුදුම විදියේ රටාවකින් සිනිඳුව, මෘදුව, සමව, හැල හැප්පුම් නැතුව, ගලාගෙන යනවා. අන්න ඒ විදියටයි ඉරියව් පවත්වන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ සංඝයා වහන්සේලාට. ඒකයි ඒ ආකල්ප සම්පත්තියේ එක ලක්ෂණයක්. සිනිඳු තෙල් ධාරාවක් වගේ. ඉතිං ඔය විදියට ආකල්ප සම්පත්තිය ගැන නිතර මෙනෙහි කරන්න කියලා සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරලා තියෙනවා. අර ගිහියා තමන්ගේ ඇදුම් පැළඳුම් ආභරණ හරිතැන තියෙනවාද කියලා කණ්නාඩියෙන් හැරිලා බලන්නා වගේ නිරන්තරයෙන් සංඝයා වහන්සේලට තමන්ගේ ආකල්ප සම්පත්තිය පිළිබඳවත් ප්රත්යවේක්ෂා කරලා අඩුපාඩු හරිගස්සා ගන්නෙයි කියන එකයි.
ඊළඟ කාරණය, හතර වෙනි කාරණය, තමන්ගේ ශීලය පිළිබඳව. මාගේ ශීලය පිළිබඳව හිතලා බලන කොට, ආපස්සට හැරිලා බලනකොට සළකලා බලනකොට, මාගේ හිත මටම දොස් නගනවද?, මගේ හිත මටම දොස් නගනවද කියන එක තේරුම් කරන්නේ මගේ ශීලයේ යම්කිසි කැළලක් අඩුපාඩුවක් තියනවාද? කියන එක. දැන් අර සංඝයා වහන්සේ කළෙත් ඒකයි. දේවතාව චෝදනා කල හැටියේ සිතුවා, කල්පනා කරලා බැලුවා, ආවර්ජනා කරලා බැලුවා. මෙන්න මේ කණ්නාඩිය දිහා බැලුවා තමන්ගේ ශීලය පිළිබඳව. මේකෙ අඩුපාඩුවක් තියනවාද කියලා. බලනකොට නෑ. ඒක තුළින් තමයි අන්තිමට රහත් උනේ. අන්න එතකොට, ඒක අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා කෙනෙකුට හැදෙන්න ඕන නම් - “අත්තාධිපතෙය්‍ය” - අර අපි ආත්ම ගෞරවය කියලා සාමාන්‍ය ලෝකයේ ව්‍යවහාර කරන්නේ. ඒ වාගේ තමාටම ඒක සතුටුවෙන්න හේතුවක්, තමා මේ මේ ශීලාදී ගුණ ධර්ම රකිනවා කියලා, තමන්ගේ හිත දොස් නගන්නේ නෑ. දොස් නගන්නේ නෑ කියන්නේ පසුතැවිල්ලක් නෑ. පසුතැවිල්ලක් නෑ කියලා කියන්නෙ හිත එකහයි. සන්සුන්. සමාධිගතයි. විසිරෙන්නේ නෑ. ඒක තුළින් අපට පේනවා ප්රතිපදාවටත් ඒවා එකතු වෙන ආකාරය.
ඊළඟ කාරණය - පස් වෙනි කාරණය තිබෙන්නේ මා ඇසුරු කරන සබ්‍රහ්මචාරීන් වහන්සේලා, ඇසුරු කරන අනෙක් සංඝයා වහන්සේලා, නුවණැති සංඝයා වහන්සේලා - අඥාන අය නොවෙයි. - නුවණැති සංඝයා වහන්සේලා ශීලය පිළිබඳව, මාගේ මේ ශීලය පිළිබඳව විමසලා බැලුවට පස්සේ මට චෝදනා කරන්න පුළුවන් තත්ත්වයක් තියනවාද? ඒකත් ආවර්ජනා කරලා බලනවා. ඒකෙදි බුදුපියාණන් වහන්සේ දක්වනවා ‘ලෝකාධිපතෙය්‍ය’ කියලා එක්තරා සිද්ධාන්තයක් තියනවා තමා ගැන හිතලා සතුටුවනවා වගේම ලෝකයාගේ අපවාදයක් - ඒ කියන්නෙ සාධාරණ විදියට අපවාදයක් - එනවා නම් ඒකත් නැතිවන ආකාරයටයි සංඝයා වහන්සේලා හැසිරෙන්නට ඕනෙ. ඉතිං ඒ විදියට තමන්ගේ ශීලය පිළිබඳව අනුන්ටවත් චෝදනා කරන්න ඉඩක් තියෙනවාද කියලා කල්පනා කරලා බැලුවා. ඒක හිතලා බලලා තමයි අර තිස්ස හාමුදුරුවන්ටත් පෙනුනේ දේවතාව කලේ අස්ථාන චෝදනාවක්. වෙන කෙනෙකුට, කාටවත්, චෝදනා කරන්න බැහැ. ඉතාම පිරිසිදුයි ශීලය කියලා අන්න අර ප්රත්යවේක්ෂාව තුළින්, පස්වෙනි ප්රත්යවේක්ෂාව තුළින්, තේරුම් ගත්තා. ඒක නිසාම තමයි ගිහිල්ලා සංඝයා වහන්සේලාට අර තමන් ලෙනේ ගත කළ ජීවිතය පිළිබඳව බය නැතුව සම්පූර්ණ විස්තරය කිව්වේ. අපි අනික් පැත්ත හිතමු. යම්කිසි විදියකින් අර සංඝයා වහන්සේට ඒ ගෙවල් වලට ගිහිල්ලා වෙදකම් කරන්න පටන් ගත්තා නම් එහෙම අර විදියට ගිහිල්ලා බුදු රජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලාවත් සංඝයා වහන්සේලාටවත් කියන්න පුළුවන්ද? කියන්න බැරි තත්ත්වයක් තියනවා. ඒ වෙනුවට තිස්ස ස්වාමීන් වහන්සේගේ අර කාරණය, පස්වෙනි කාරණයත් පිරිසිදු නිසා බය නැතුව කීවා මම මේ මේ විදියට ඒ කාලය ගතකළා කියලා.
ඔන්න ඊළඟට කියවෙන හයවෙනි කාරණය - ‘සියල ප්‍රිය මනාප දෙයින් වෙන්වීමක්, ඒවායින් ඉවත්වීමක්, ඒවායින් වියෝවීමක් මට තියෙනවා’ කියන කාරණය. හැම දේකින්ම වෙන් වෙන්න සිද්ධ වෙනවා. මරණයෙන් හෝ එහෙම නැත්නම් වෙනත් හේතුවලින් අපි මේ ප්‍රියමනාප කියලා හිතන දේවල් හැම එකකින්ම වෙන් වෙන්න වෙනවා. එයින් පෙන්නුම් කරන්නේ පැවිද්දාට අයිති කාරණය තමයි. අන්න අර ගාථාවෙනුත් එතන කියවෙනවා ‘’අසංසට්ඨං ගහට්ඨේහි - අනාගාරේහිච්චූහයං’’ ගිහියන් පිළිබඳවත් ඈලීගැලී විසීමක් නෑ පැවිද්දන් පිළිබඳවත් ඈලීගැලී විසීමක් නෑ. ඒ මොකද එහෙම කරන්නේ? මේ හැම එකකින්ම වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන ධර්මතාව. ඒක නිතිපතා මතක් කරගන්නවා. මට ප්‍රිය මනාප දේවල් වලින්, මට ප්‍රිය මනාප අයගෙන් වෙන්වීමක් තියනවා, මේ සංසාර ස්වභාවය ඒකයි කියලා හිතට දාගන්නවා. ඕන්න ඕකයි හයවෙනි කාරණය.
හත්වෙනි කාරණය - ඊළඟට කර්මය පිළිබඳව කල්පනා කරනවා කර්මය පිළිබඳ ධර්මතාව. ’කර්මය තමයි මා සතු දෙයක් හැටියට තියෙන්නේ. තමා සතු දෙයක් හැටියට තියෙන්නේ කර්මය විතරයි නියම ආකාරයෙන්න බලනවා නම්. කර්මයයි මගේ දායාදය, මගේ උරුමය. කර්මයයි මගේ උත්පත්තියට හේතුව. කර්මයයි මගේ නියම ඥාතිවරයා. නියම පිහිට. හොඳ හෝ නරක හෝ යම් කර්මයක් කරතොත් එහි විපාකයත් මා බලාපොරොත්තු විය යුතුයි. කර්මයට උරුමකාරයා මමයි. කර්මයේ විපාක විදින්න වෙනවාමයි. අන්න එතකොට ඒ කර්මය පිළිබඳ ලෝකයේ පවතින, බුදු රහතුන්ටවත් බේරෙන්න බැරි විදියේ මහ පුදුම ධර්මතාව තමන්ගේ ජීවිතයට ළංකර ගන්නවා, ඒ ප්රත්යාවේක්ෂාව තුළින්. කර්ම කන්නාඩිය දිහා බලල තේරුම් ගන්නවා මේ අපේ හැම දෙයක්ම, හැම එකක්ම, මේ විදියයි ස්වභාවය. මේවා ගැන ආඩම්බර වෙන්න දෙයක් නෑ. යම් අතීත කර්මයක් නිසා අපේ මේ සැපදුක්. මේ හොඳ දෙවල් විඳින ඒවා ඔක්කොම අතීත හොඳ කර්මයක් නිසා. මේ දුක් ගැහැට යම් යම් අකුසල කර්ම නිසා. අනාගතයටත් ඒ විදියයි කියල ඒ කර්මය සිද්ධාන්තය කරගෙන ජීවත්වීමයි එතනින් කියවෙන්නේ.
ඊළඟට දක්වන අට වෙනි කාරණය, ඒක ටිකක් අමුතු විදියටයි එතන දැක්වෙන්නේ. ‘මට දවල් ඉක්මෙන්නේ මා කොයි ආකාරයකින් සිටින විටද?’ ඒ කියන්නේ මට රෑ දවල් ඉක්මෙන්නේ කොහොමද? මට රෑ දවල් ගත වෙන්නේ කොහොමද? කුමක් කරමින් සිටියදීද? ඒයින් පෙන්නුම් කරන්නේ දැන් පැවිදි ජීවිතය ගෙවන මොහොතක් පාසා හිතන්ට ඕන මා අද මේ දවසක් ගෙවවා. මේ ගෙවෙන දවස මාගේ පැවිදි පරමාර්ථය ඉෂ්ට කර ගැනීමට උපකාර වන එකක්ද? එහෙම නැත්නම් ඒක පරිහානියට හේතුවන එකක්ද කියලා. මා කොයි ආකාරයකට සිටිද්දීද මේ රෑ දවල් ගෙවෙන්නේ කියලා. ඒ කියමනේ අදහස - මම කාලය ගෙවන්නේ කොහොමද? නිෂ්ඵල විදියටද? සාර්ථක විදියටද? කියන කාරණය නිතර මෙනෙහි කරනවා.
ඊළඟට නව වෙනුවට දක්වන කාරණය - මා පාලු ගෙවල්, භාවනාවට සුදුසු පාලු ගෙවල්, හිස් ගෙවල් පිළිබඳව ඇල්මක් ඇති කරගන්නවාද? එහෙම නැත්නම් ඒවායේ විවේකී වාසයට මා තුළ ඇල්මක් තිබෙනවාද? කියල හිතනවා. ඒක අමාරු දෙයක්. ගිහි පින්වතාට, පිරිසක් එක්ක ජීවත්වෙන පින්වතෙකුට, තනිව වෙන්ව විවේකීව පාලුගෙයක, කැලෑවක, අර වගේ ලෙනක. ඉන්න බැහැ. ඒක විශේෂ ශක්තියක් නිවනට උපකාරීවන. ඒකයි බුදුපියාණන්වහන්සේ මෙතන දක්වන්නේ. ඒතනින් අඟවන්නේ භාවනානුයෝගී බවයි. විවේකයට ලැදි බවයි. ඒතකොට සංඝයා වහන්සේ කෙනෙක් තමන්ගෙන්ම අහන්න ඕන. ඇත්ත වශයෙන්ම මම විවේකයට ලැදි ද? පාලු ගෙයක මට ඉන්න පුළුවන්ද? මිනිස් සමාජයෙන් ඉවත් වෙලා බණ භාවනා සඳහා විවේකය සඳහා පාලු ගේකට ගිහිල්ලා ඉන්න පුළුවන් ශක්තිය තියනවාද මා තුළ? ඒකත් නිතර හිතන්න කියලා තියනවා. අර විදියට ගිහියන් වට කරගෙන ඈලී ගැලී ජීවත්වෙන කෙනෙකුට පාලු ගෙයක් තියා වනාන්තරයක් පවා භය ගෙන දෙන දෙයක්. හිතන්නවත් බයයි. අපොයි කොහොමද තනිව ඉන්නේ? අන්න ඒ විදියේ තත්ත්වයක් මෙතන. ඒක නිසයි බුදු පියාණන් වහන්සේ මේ නව වෙනුව දක්වලා තියෙන්නෙ භාවනාවට අදාළ අන්දමින් ඒකත් ප්රත්යවේක්ෂාවක්, තමා ගැනම හිතලා බලන්න. සළකලා බලන්න.
ඔන්න ඊළඟට දහවෙනි එක. මේ දහවෙනි එක සඳහා තමයි මේ ඔක්කොම. බුදු පියාණන් වහන්සේ ධර්ම කාරණා සම්පිණ්ඩනය කරනවා නම් ඒ හැම එකකම අවසාන දේ තමයි ධර්මය කුළු ගැන්වෙන කාරණය බොහෝ විට. ඒ වගේම මෙන්න මේක ගැන විශේෂයෙන්ම හිතන්න ඕන, මේ පින්වතුන් හිතට දාගන්න ඕන. මොකක්ද දහවෙනි එක? සංඝයා වහන්සේ කෙනෙක් මෙන්න මේ විදියට ප්රත්යවේක්ෂා කරන්න ඕන නිතිපතා, නිරන්තරයෙන් සළකලා බලන්න ඕන. නුවණින් සළකලා බලන්න ඕන මගේ අවසාන අවස්ථාවේදී, මරණ මොහොතේදී, මා ඇසුරු කරන අනෙක් සංඝයා වහන්සේලා ඇවිල්ලා මගෙන් ඇහුවොත්, කොහොමද ඔබ වහන්සේ මෙච්චර කල් මේ පැවිදි ජීවිතය ගෙවුවා යම්කිසි උත්තර මනුෂ්‍ය ධර්මයක්, ධ්‍යාන මාර්ගඵල ආදියක් එහෙම ලබාගෙන තියනවාද? කියලා එහෙම අහනකොට මුණ මකු කරගෙන, බිම බලාගෙන, පසුතැවිල්ලෙන් යුක්තව ඉන්න බැරි විදියට, එහෙම ඉන්න අවශ්‍යතාවක් නැතිවන ආකාරයට, මා යම්කිසි ශාසනික උතුම් ආධ්‍යාත්මික තත්ත්වයක් ලබාගෙන තියෙනවාද? නැද්ද? කියලා. යම්කිසි උතුම් තත්ත්වයක් ලබාගෙන තියනවා නම් අර ප්රශ්නය අහනකොට මද සිනහවක් - ඒකට ‘ඔව්’ කියලා කියන්න අකමැති නම්, අල්පේච්ඡතාව නිසා තමන් ලබාගත්තු බව යටත් පිරිසෙයින් මද සිනහවකින් මුණ සරසාගන්නවත් පුළුවන් ඒ මරණ අවස්ථාවේදී. ‘මේ ගොල්ල හිතන්නෙ මා ලැබුවේ නැහැ’ කියලයි. අන්න ඒ විදියට ඒ මරණ වෙලාවේ පසුතැවිල්ලක් නැතුව තමන්ගේ ජීවිතය ගැන ආපස්සට ආවර්ජනා කරලා බලනකොට, මගේ පැවිද්ද, පැවිදි පරමාර්ථය ඉෂ්ට සිද්ධ වෙලා ඉවරයි. මට කිසිම භයක් නැහැ. අපාය භයක් නැහැ. රහත් වුනොත් තවත් සංසාරේ ජාති, ජරා, ව්‍යාධි, මරණ කිසිවක් නැහැ. පහන නිවුනා වගේ අන්න ඒ සැනසිල්ලයි එතකොට ඒකයි අර අවසාන පරමාර්ථය. පැවිද්දේ අවසාන පරමාර්ථය. පරම නිෂ්ඨාව. සිවුරු පටිය බඳින්නෙත් ඒක සඳහායි. වෙන එහෙකට නෙවෙයි. සිවුරු පටිය බඳින්නෙ දැන් ඔය හරකෙක් බැඳලා ඇදගෙන යන්නෙ. ඒ වගේ ගිහි සමාජෙට ඒ සිවුරු පටිය උපකාර කරගෙන ඇදගෙන යන්න නෙවෙයි, සිවුරු පටිය බඳින්නේ සංඝයා වහන්සේ කෙනෙකුගේ බෙල්ලෙ. ගිහියන්ගේ ඕනෑ එපා කම් පිරිමහගන්න, ඒ සිවුරු පටිය ඇඳගෙන යන්න නරකයි. ඒ සිවුරු පටිය බැඳීම එක්තරා ලාංඡණයක් . ඒක ඉවත් කරලා රීළඟට සිවුරු අන්දවනවා. ඒකේ අදහස මොකක්ද? “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය” සියලු සසර දුක් කෙළවර කරන ඒ නිවන ප්රත්යක්ෂ කර ගැනීම සඳහා.
එතකොට අන්න ඒ අවසාන පරමාර්ථයටයි අදාලවයි මුල ඉඳලම තියෙන්නේ. මෙන්න මේ එක එකක් ගැන දැන් ආපස්සට හිතුවොත් කාරණාවල ගැඹුරු අර්ථය, මේ අවසාන කාරණයෙන් මේ පින්වතුන්ට හිතාගන්න පුළුවන් වැඩි විස්තර නොකීවත්. අවසාන අවස්ථාවේදී, මරණ මොහොතේදී, තමන් පසුතැවිල්ලක් නොවෙන ආකාරයට අර උතුම් ලෝකෝත්තර තත්ත්වයක්, මේ බුද්ධ ශාසනයේ මේ දූර්ලභ බුද්ධ ශාසනයේ, දූර්ලභ පැවිද්ද තුළින්, දුෂ්කරතා මධ්‍යයේ හෝ, නොකා නොබී හරි, නොයෙකුත් රෝග පීඩා බාධක මධ්‍යයේ හරි, අර තත්ත්වය ලබා ගත්තා නම් අන්න අවසාන අවස්ථාවේ ලොකු සැනසිල්ලක්. එහෙම නැත්නම් මර බියෙන් කැගසමින්, විලාප තියමින්, කොයි විදියේ තාන්න මාන්න, නිලතල, උපාධි ලාභ ආදිය තිබුණත් අවසාන අවස්ථාවේදී, මහා භයානක විලාප නගමින් - අන්තිමට පැවිදි ජීවිතය එතනින්ම අවසානයි. ඊළඟට කොහේ යනවද කියලා නෑ. අන්න ඒක නිසයි බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙන්නෙ මේ දස ධර්ම සූත්‍රයේ අවසාන එකෙන්.
දැන් සමහර විට කෙනෙක් කියන්න පුළුවන් මේ කාලේ නම් ඒවා යල් පැනපු දේවල් කියලා. අපට තවම අහන්න ලැබිල නැහැ දස ධර්ම සූත්‍රය නව ධර්ම සූත්‍රය කළ බවක්. තාමත් ඒක සංඝයා වහන්සේලා භාවිතා කරනවා. ඒයින් අපට පේනවා මේ අවසානයේ කියවෙන්නෙ පැවිදි ජීවිතයේ නිශ්ඨාවයි, පරමාර්ථයයි. ඒකෙනුයි කුළු ගැන්වෙන්නේ පැවිදි ජීවිතය කියන එක. ඒ මිසක් මේක සුලහ දෙයක් නොවෙයි. සුලහ කරන්න බැහැ මේක. ඒ වගේම මේක ලේසියි. දැන් ඔය කපුටන්ගේ ජීවිතය බොහොම ලේසියි. ඒකට බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා, ඒ විදියට විනයාදී ශික්ෂාපද නොරකින භික්ෂුවට ඉතාම පහසුයි කපුටකූ වගේ ජීවත් වෙන්න පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වලා තියනවා නියම ආකාරයේ පැවිද්දාට ජීවිතය දුෂ්කරයි, අමාරුයි. සමහර විට පිණ්ඩපාතෙවත් හරියට ලැබෙන්නේ නැහැ. නමුත් අනියම් ආකාරයෙන් ගිහියන් සතුටු කරගෙන, වැරදි ආජීවයකින් ඒ සිවිපසය ලබාගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකයි ප්‍රතිපත්තිය. මොකද ඒක විශාල පාවාදීමක්. එක පැත්තකින් ශාසනය පාවා දීමක්, අනික මේ දූර්ලභ බුද්ධෝත්පාද කාලයේ දූර්ලභම පරමාර්ථය වන මෙතෙක් නොකළ සසර දුකින් එතර වීම කියන පරමාර්ථය, පාවාදීමක්. ඒ තුළින් පැවිද්ද එහෙම පිටින්ම නිෂ්ඵල වෙනවා. සඵල වෙන්නෙ නැහැ. නිෂ්ඵල වෙනවා, ව්‍යර්ථ වෙනවා.
ඔන්න ඕක තුළින් අපට හිතාගන්න පුළුවන් මේ දස ධර්ම සූත්‍රය තුළ තියන වටිනාකම. මේකෙ ඇත්ත වශයෙන්ම සංඝයා වහන්සේලා හංගගෙන පාවිච්චිකරන දෙයක් හැටියට හිතන්න නරකයි. ගිහි පින්වතුන් ඒ පිළිබඳව දැනුවත් වීම තුළින් ගිහි පින්වතුන්ට පුළුවන් ආරක්ෂා වෙන්න. තමන් ඇසුරු කරන කුළුපග ස්වාමීන් වහන්සේලාගෙන් අනියම ඉල්ලීම් ඒ සංඝයා වහන්සේලා නොමගට යොමු නොකරන්න. මෙන්න මේ ශාසන පරිහානියක් දැන් කාලයේ ප්‍රකට රහසක් වශයෙන් පවතිනවා. සමහර දේවල් සමාජයේ තියෙනවා ‘ප්‍රකට රහස්’ කියලා. ඒවා කියන්න බය වෙන්නත් නරකයි. ඉතිං ඒ විදියේ ප්‍රකට රහස් හැටියට තියෙන ශාසන පරිහානියට හේතුව අර සංඝයා වහන්සේලාගේ නොසැලකිල්ල පමණක් නොවෙයි. ගිහි පින්වතුන් තමන්ගේ නිලතල බලතල යොදමින් අන්න අර කියාපු විදියට සිවුරු පටිය අල්ලගෙන ගිහියන්ගේ ඕනෑ එපාකම් පිරිමහන්න, එහෙම නැත්නම් අර ‘තැනෙ හැටියට ඇණේ ගහන්න’ අතකොළුවක් කර ගැනීම තුළනුයි මේ ශාසන පරිහානිය යෙදිල තියෙන්නේ. ඒ නිසා අපේ මේ ගිහි පින්වතුන් ඥානවන්ත විය යුතුයි. දැනුවත් විය යුතුයි. උපාසිකාව වගේ. අතීතයේ ශාසනය බැබළෙන කාලේ, රහතන් වහන්සේලා එහෙම මේ රටේ වැඩියෙන් වාසය කල කාලවල, තිබුණු ශාසන තත්ත්වයට හේතුව ගිහි පින්වතුන් අර සංඝයා වහන්සේලාගේ සිවිපිරිසිදු ශීලය පිළිබඳ යම්කිසි අවබෝධයක් ඇතිවයි ක්‍රියා කළේ. තමන්ගේ ජීවිතය නැති වුනත්, දරුවන්ගේ ජීවිතය නැති වුනත්, සංඝයා වහන්සේලා ලවා අර නුසුදුසු අනියම දේවල් කරගන්න යන්නෙ නැහැ. ඒ තුළින් ශාසන විනාශයයි, ශාසන පරිහානියයි සැළසෙන්නේ. ඉතිං මේක තුළින් වටිනා කාරණා කීපයක් මේ පින්වතුන්ට හෙළි වුනා.
මේ බුද්ධ ශාසනය කියන්නේ, අපි කල්පනා කරන්න ඕන - ඒකත් ඔය නොයෙකුත් ආකාරයෙන් තෝරනවා - තුන් ආකාර කරලත් තෝරනවා පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ කියලා. බුද්ධ ශාසනය ගැන කියන කොට දැන් අපට බුද්ධ ශාසනය ලැබුණා කියලා කියන කොට, කෙනෙක් සිහියට නගා ගන්නවා බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපට ලැබුණා. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩිය නිසා ත්‍රිපිටකය අපට ලැබුණා. අන්න පරියත්ති කියලා කියන්නෙ එකයි. ඉගෙනීමට ඕන කරන ධර්ම කොටස් අපට ලැබුණා. ඒවගෙම පටිපත්ති කියලා කියන්නේ, මේ ශාසනයේ මේ කියන ධර්මය ක්‍රියාවට නැගිය යුත්තක. මේවා පොත් වලට සීමා කළයුත්තක් නොවෙයි. මේ හැම ධර්මයක්ම, අර ධර්මයේ කියවෙන ‘ඒව බලව’ කියන ඒ අභියෝගයට අනුව ‘මාව ක්‍රියාත්මක කරලා බලන්න’ කියලා කියන විදියේ ධර්මයක්. ඒ වගේම පියවරෙන් පියවරට අරගෙන යන ඕපනයික ධර්මයක්. ඒක නිසා ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, ඒවායේ, ඒ ප්‍රතිපත්තියේ, යැදීමයි පටිපත්ති ශාසනය කියලා කියන්නේ. ඒ ප්‍රතිපත්ති ශාසනයත් ඒ මුල් අවධියේ බැබළුණු බවට සාධක තමයි මිහිඳු මහා රහතන් වහන්සේ ඇතුළු පිරිස ඇවිල්ලා, රජ පවුල් වලින් පවා, රජ බිසෝවරුන් පවා, පැවිදි කරමින් විශාල පිරිසක් ශාසනයට ඇතුළත් කරමින්, හරි ආකාර ශාසනය පිහිටෙව්වයි කියන්නේ අන්න ප්‍රතිපත්තියට ඇතුළු වුන අවස්ථාවයි.
ඊළඟට ප්‍රතිවේධ කියලා කියන්නෙ ඒ ප්‍රතිපත්තිය තුළින් බණ භාවනා දියුණු කරගෙන ප්‍රඥාව, විදර්ශනා ප්‍රඥාව, දියුණු කරගෙන ඒ තුළින් අර සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ගඵල ප්‍රතිවේධ කිරීමයි. ප්‍රතිවේධ කිරීම කියලා කියන්නෙ නුවණැසින්, නුවණින් මේ සත්‍ය තත්ත්වය චතුරාර්ය සත්‍යය, විනිවිද දැකීමයි. ප්‍රඥාව කියන ආලෝකය තුළින්, වැහිලා තියෙන, අවිද්‍යාවෙන් වැහිලා තියෙන, මේ තත්ත්වය තම තමන්ම ප්රත්යක්ෂ කර ගත යුතු දෙයක්. තම තමන්ටමයි ඒක දකින්න පුළුවන් වෙන්නේ. වෙන කෙනෙකුට ඇවිල්ලා පෙන්වන්න බෑ. කොයිතරම් පර්යේෂණ කෙරුනත්. දැන් මේ කාලේ නිතර අසන්ට ලැබෙන දේවල් තමයි, ඇතැම් කෙනෙක් හිතන්න පුළුවන් මේ කාලයේ බුද්ධ කාලෙටත් වඩා, එහෙම නැත්නම් ඊට මෑත ලංකාවේ ඒ කාලෙටත් වඩා, මේ කාලේ ශාසනය බොහොම දියුණුයි කියලා. මොකද, ඒ තරමටම පොතපත තියනවා. නොයෙකුත් මාධ්‍ය වලින් ඉගෙනීම පිළිබඳව නම් නානාප්‍රකාර ක්‍රම තිබෙනවා. මුළු ත්‍රිපිටකයම සාක්කුවේ දාගෙන යන්න පුළුවන් තත්ත්වයක් දැන් තියෙනවා. මුළු ත්‍රිපිටකයම ඉස්සර නම් මේවා බොහොම අමාරුවෙන් වන පොත් කරලා, කට පාඩම් කරලා, හිතේ දරා ගත්තා. ඒක තුළින් අර පුද්ගලයාගේ යම් කිසි වෙනසක් සිද්ධ වෙනවා. ඒක අමතක වෙනවට නිතර සජ්ඣායනා කිරීම තුළින් ඒ පුද්ගලයා දන්නෙම නැතුව ධර්මයට අනුව ජීවත්වෙනවා. නමුත් දැන් ඒවා ඔක්කොම අපේ මේ නවීන විද්‍යාත්මක ක්‍රම නිසා - අපි මේවා කිව්වට වරදවලා තේරුම් ගන්න එපා. මේවායේ ආනිසංස ආදීනව දෙපැත්තම අපට පෙන්නලා දෙන්න සිද්ධ වෙනවා. - ඒ තුළින් ඇතුම් කෙනෙක් ආඩම්බර වෙනවා. මුළු ත්‍රිපිටකයම මා ළඟ තියෙනවා, සාක්කුවේ තියෙනවා අළුත්ම ක්‍රමයට. නමුත් ඔය ධර්මය පිළිබඳ නියම පර්යාප්තියක් නොවේ එතන. කොහොම හරි ඒක අපි කියමු පර්යාප්තිය ටිකක් වැඩිපුර තියෙනවා කියලා. නමුත් ප්‍රතිපත්තිය එන්න එන්නම අර විදියට හීන වෙනවා. මොකද, මේ ධර්මය දැන් බොහෝ දෙනා හිතන්නේ අර අනෙකුත් දේවල් වගේ, ඔය නොයෙකුත් පර්යේෂණාගාරවල කරන පර්යේෂණ තුළින් ධර්මය තේරුම් ගත යුතු දෙයක් කියලා. එහෙම නැත්නම් ඔය දැන් නොයෙකුත් විද්‍යාත්මක පර්යේෂණ කරන්නේ, බාහිර දේවල් ගැන බාහිර හැටියට ඒවා සළකල යි. ඒ විදියට පර්යේෂණ කිරීමක් නොවේ මෙතෙන. මේ ආර්ය පර්යේෂණය ඒ විදියේ දෙයක් නෙවෙයි. තමන් තුළම ශීලාදී ගුණධර්ම වගා දියුණු කර ගැනීමෙන් තමයි මේ ධර්මයේ සත්‍යතාව උරගා බලන්න පුළුවන් වන්නේ. බාහිරව කරන දේ වලින් නෙවෙයි. ඒ විදියේ බාහිර පර්යේෂණ වලින් නෙවෙයි. ඒකට ප්‍රතිපත්තියට බහින්න ඕන. මුල ඉඳලම ප්‍රතිපත්තියට බහින්න ඕන පංචශීලයේ ඉඳලාම. ඉතිං අන්න ඒකටයි ප්‍රතිපත්ති ශාසනය කියන්නෙ. ඒ අතින් බලන කොට ප්‍රතිපත්ති ශාසනය ඉතාම දූර්වලයි. ඊළඟට ඊටත් වඩා දූර්වලයි ප්‍රතිවේධ ශාසනය. දැන් ඇතැම් කෙනෙක් මේ කාලේ කියනවා - මේවා කරන්න බෑ මේ කාලේ. මේ ලෝකෝත්තර තත්ත්වයන් මේ කාලෙට අයිති නැහැ. නිවන කියන එක මේ කාලෙට අයිති නැහැ. ඒවාට වෙන බුදු කෙනෙක් එනකම් ඉන්න ඕන. එහෙම නැත්නම් කිසිසේත් මේ කාලේ සමාජයට ගැලපෙන්නෙ නැහැ. එහෙම හිතලා එහෙම පිටින්ම අවලංගු කරන තත්ත්වයකුත් තියෙනවා. නමුත් අපි කල්පනා කරන්න ඕන බුද්ධ වචනයට අනුව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා, යම් තාක්කල් මෙන්න මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරනවා නම් තමන්ගේ චිත්ත සන්තානයේ, අන්න ඒතාක් කල් රහතුන්ගෙන් ලෝකේ හිස් වෙන්නෙ නෑ කියලා.
ඒ ‘හැකි’ සංඥාව ඇති කරගෙනයි අපි මේ ධර්ම ගමන යා යුත්තේ. ශාසනය ආරක්ෂා කරන්න උත්සාහවත් වෙන්ට ඕනෙ. එහෙම නැත්නම් තුනෙන් පංගුවයි රැකෙන්නෙ. ශාසනයේ තුනෙන් පංගුවයි. අර කියාපු පර්යාප්තිය, ඉගෙනීම, පිළිබඳ පැත්ත විතරයි දියුණු වෙන්නේ. ඒක දියුණු වුනාට වැඩක් නෑ. පුස්තකාලවල පොත් පුස්කකා තියේවි. නමුත් සමාජයේ අන්තිමටම වන මෘගයින් වගේ එකිනෙකා කාගන්න තත්ත්වයක්, ඒ විදියේ අපරාධකාරී තත්ත්වයක්. අනික් පැත්තෙන් භික්ෂු ශාසනය පිළිබඳවත් ඒ විදියේ පරිහානි තත්ත්වයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා, අනික් පටිපත්ති ප්‍රතිවේධ කියන අංග ගැන නොතකා හැරියොත්. මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ බුදු කෙනෙක් තුළින් අපි බලාපොරොත්තුවෙන ගැඹුරු දේ තමයි, උතුම්ම දේ තමයි මේ සසර දුක් කෙළවර කර ගැනීම. මේ සංසාර දුක කෙළවර කර ගැනීමට අවශ්‍ය අන්දමින් ධර්මය පෙන්නුම් කරන්නේ සම්මා සම්බුදු කෙනෙක් විතරයි. පසේ බුදු රජාණන් වහන්සේ කෙනෙකුටවත් ඒක කරන්න බැහැ. උන්වහන්සේ නිවන් ප්රත්යක්ෂ කර ගත්තත් අනෙක් අයට ඒක තේරුම් කරලා දෙන්න බැහැ. ඉතිං බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පටිච්ච සමුප්පාද ආදී ගැඹුරු ධර්ම දේශනා කරන කොට, “මහණෙනි, මම මෙන්න මේ ධර්මය හොඳට බෙදලා, විග්රහ කරලා විභාග කරලා මේ විදියට ඕනෑ කෙනෙකුට මේක තේරුම් කරගන්න පුළුවන් තත්ත්වයට පහත් කරලා මේක”බලන්න” කියලා විවරණය කරලා දීලා තියෙනවා.” අර ගුරු මුෂ්ටිය කියලා අතීත කථාන්තරයක් තියෙනවා, අතීත යෙදීමක් තියෙනවා. ඒ කියන්නේ සමහර ගුරුවරු, අතීතයේ හිටපු ඊර්ෂ්‍යා පරවශ ගුරුවරු, තමන්ගේ ගෝලයින්ට ඔක්කොම දුන්නේ නැහැ. ටිකක් හංග ගත්තා. ඒ විදියේ දෙයක් නැතිබව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. “මා ඒ විදියට කොටසක් හංග ගත්තේ නැහැ. නිවනට අදාළ යම් දෙයක් තිබේද - අනික් දේවල් වලට නෙවෙයි - නිවනට අදාළ යම් දෙයක් තිබේද, මගේ බුද්ධ ඥාණය තුළ, ඒ හැම එකක්ම මම නුඹලාට කියලා දීලා තියෙනවා.” අන්න ඒක නිසා මේ ධර්මය ක්‍රියාත්මක කලොත් කෙනෙකුට ඒක ප්රත්යක්ෂ කරගන්න බැරි නෑ. ඒ විදියටයි සම්බුද්ධ ශාසනය නගා සිටුවන්න පුළුවන් වන්නෙ, මේ ශාසන පරිහානි යුගයේදී - යටත් පිරිසෙන් පරිහානි වේගය අඩු කරගන්නවත් පුළුවන් වන්නේ.
ඒක නිසයි අපි මේ අද දේශනාව එල්ල කළේ. ඇත්ත වශයෙන් මේක පුද්ගලයකුට එල්ල කළා නොවෙයි. ගිහි පැවිදි කියන ඒ දෙපක්ෂය තුළම නියමාකාර සම්බන්ධීකරණයක්, දැනුවත් වීමක්, තිබෙන්නට ඕන. මේ නියම ගිහි පැවිදි සම්බන්ධතාව කියන්නෙ මොකක්ද කියලා. මේ කාලේ නම් බොහෝ විට පරිහානි ලක්ෂණයි ප්‍රගති ලක්ෂණ හැටියට උල්ප්පලා පෙන්වන්නේ. ඒ විදියේ ස්වාභාවයක් තියෙනවා. පරිහානි ලක්ෂණ මතුකරලා දක්වනවා ප්‍රගති ලක්ෂණ හැටියට. මොකද, ලෝකයා බොහෝ විට දුවන්නේ අර බටහිරින් එන ආර්ථික සිද්ධාන්ත ඔස්සේමයි. පරාර්ථ සේවා, සමාජ සේවා ආදී ඒ පරමාර්ථ ඔස්සේ දුවන්නේ. ඒවා අනුවයි මේ සම්බුද්ධ ශාසනයේ වටිනාකම් ගැන නීරික්ෂණ කරන්නේ, තීරණ වලට එළඹෙන්නේ. ඒක වැරදියි. බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මෙන්න මේ දස ධර්ම සූත්‍රය ආදී ඒ සූත්‍ර වලින් පෙන්නුම් කරන වටිනාකමුයි අපි මතුකර ගන්නට ඕන. ඒ අනුවයි ගිහි පැවිදි සම්බන්ධතාව සකස් කරගන්නට වෙන්නේ.
ඉතිං මෙන්න මේ කාරණා ටික මේ පින්වත් පිරිස මේ වටිනා දවසේ හිතට ගන්න ඕන. පොසොන් පෝය දවස කියන එක අපි කවුරුත් නොයෙකුත් ආකාරයෙන් සිහිපත් කරනවා. මිහිඳු මහ රහතන් වහන්සේට අනුබුදු ස්වාමීන් වහන්සේ කියලා හිටං ගරු කරනවා. උන්වහන්සේට කරන්න පුළුවන් ලොකුම ගෞරවය තමයි, අර කියාපු ආකාරයට උන්වහන්සේ යම් බුද්ධ ශාසනයක් පිහිටෙව්ව නම් ඒ බුද්ධ ශාසනය දීර්ඝ කාලයක් පැවැත්වීම සඳහා අන්න අර කියාපු ත්‍රිවිධ ශාසනයම පරියත්ති පටිපත්ති පටිවේධ - පර්යාප්තිය තියෙන්නේ ප්‍රතිපත්තිය සඳහායි, ප්‍රතිපත්තිය තියෙන්නේ ප්‍රතිවේධය සඳහායි. ඒවා වෙන්කරලා ගන්න බැහැ. නියම ආකාර පර්යාප්තිය නම් අර ආර්ය ධර්මය හරියට තමන්ට, තමන්ගේ චිත්ත සන්තානයට නගාගෙන ඒ අනුව තමන් ජීවත් වෙමින්, ඒක ප්‍රතිපත්තියට නැගීමයි. රීළහට අවසානයේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා ‘පවත්තං වේදිතබ්බො විඤ්ඤූහි’ මේ ධර්මය නුවණැත්තන් විසින් තම තමන්ම ප්රත්යක්ෂ කරගත යුත්තක්. අන්න ඒ විදියට තමයි ප්‍රතිවේධය කරන්න පුළුවන් වෙන්නෙ. අර ලෝකෝත්තර තත්ත්ව ප්රත්යක්ෂ කරගෙන මේ සියලු සසර දුකින් අත් මිදිලා උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ.
එතකොට අද කල්පනා කරන්න ඕන මේ පින්වත් පිරිසත්, ඒ ගෙදරවල් වලින් ඇත්වෙලා යම් යම් ප්‍රමාණයේ ශීලාදී ප්රතිපත්තියකට නැඹුරු වෙලා අද දවසේ තමන්ට පුළුවන් මට්ටමකින් යම්කිසි භාවනා ආදියක් කරන්න ඇති. අන්න ඒ විදියට තමයි අපේ පුංචි තරමින් අපි මේ ත්‍රිවිධ ශාසනය ආරක්ෂා කර ගන්න ඕනෙ. අර කියාපු අර සිහි කටයුතු අවස්ථාවට අනුව අපි මිහිඳු මහරහතන් වහන්සේට උපහාරය දැක්වූවා කියල, ඒ විදියට හිතාගන්න ඕනෑ. ඒවගේම ඒ තුළින් අපි මේ සම්බුද්ධ ශාසනයෙන් නියම වැඩ ගැනීම කියලා කියන ඒ පරමාර්ථය අපේ ජීවිතයට ළං කරගෙන, තම තමන් මේ ගැන උනන්දු වෙමින්, බණ භාවනා, ශීලාදී ගුණ ධර්ම වගා දියුණු කර ගනිමින් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින්, ඒවාට නිසි උපදෙස් ලබා ගනිමින් හැකිතාක් ඉක්මණින් මේ ජීවිතයේදීම - බුද්ධෝත්පාද කාලය දූර්ලභයි, ඒ වගේම බුද්ධ ශාසනයත් පරිහානියට යනවා. මේ යන පරිහානි වේගය අනුව අපට සමහර විට නැවත ඉපදිලා මේ ගුණධර්ම රකින්න අවස්ථාවක් නැතිවෙන්න පුළුවන්. ඒක නිසා - මේ ජීවිතයේදීම හැකිනම්, සෝවාන් සකදාගාමී, අනාගාමී, අර්හත් මාර්ගඵල ප්‍රතිවේධයෙන් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ අද රැස්කර ගත්තු පුණ්‍ය සම්භාරය ඒකාන්තයෙන්ම උපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කරගන්න.
ඒ වගේම තමන්ගේ ඥාතීනුත් ඇතුළු අවීචියේ සිට අකනිටා දක්වාවූ යම් තාක් සත්ත්ව කෙනෙක් මේ විදියේ ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය කුශලය අනුමෝදන් වෙන්න කැමති නම්, ඒ අනුමෝදන් වීම තුළින් අර දුගති තත්ත්ව වලින් අත්මිදී සුගති තත්ත්ව වලට පත්වී කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් හැකිතාක් ඉක්මණින් ජාති ජරා ව්‍යාධි, මරණාදී සියලු සංසාර දුකින් අත්මිදී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්න.